Thursday, June 14, 2018

ශෘංගාරාත්මක කවි....

 
     
           මං බලාගෙන හිටියා. අදටත් වෙනසක් නැති මගෙ සෙල්ලිපි ෆොන්ට් අකුරෙන් ලියපු කවි තුනක් විතරමයි, ඒ කොලේ තිබ්බෙ. මේක කොහොමද මෙතෙන්ට ආවෙ. කරුමෙටවත් අම්මා එහෙම දැක්ක නම් මාව දරුකමෙනුත් අයින් කරනවා.

           සහතිකයක් හොයන්න පරණ ෆයිල් ඇද ඇද ඉද්දි මට ඉස්සරලම හම්බුනේ මගෙ ඉස්කෝලෙ ප්‍රගති වාර්තා පොත්. ඒව පොඩ්ඩක් පෙරළලා බලද්දි තමා හිතුණෙ මෙහෙමවත් කාලා ඇඳලා ඉන්න එක ලොකු දෙයක් නේද කියලා. පරණ දේවල් අදිද්දි ඕක තමා හැමදාම වෙන්නෙ. අතට අහුවෙන ඕනි දේකින් ඒ කාලෙ මතක් කර කර ටික වෙලාවක් ආතල් එකේ ඉන්නවා. අන්තිමේ කරන්න ගිය වැඩෙත් නෑ. වෙලාවත් ගිහින්.

          කොහොම හරි ඔහොම හොයාගෙන හොයාගෙන යනකොට තමා මට ඒ අස්සෙ තිබිලා දෙකට නමලා තිබ්බ පොතකින් ඉරපු කොලයක් හම්බුනේ. නිකමට දිගෑරලා බැලුවාමයි මගෙ ඇස් උඩ ගියේ. ඒකෙ තිබුනෙ කවි තුනක්. ඔව්. මම ආසාකරපු ලස්සන කවි පන්ති දෙකකින් අරන් එඩිට් කරපු කවි තුනක්. ඒක කියවනකොට ඉබේටම වගේ ආපහු ඒ කාලෙට, ඒ කවි අහපු දවසට හිත ගියෙ මටත් නොදැනිම. ඒක වෙනම ම ආතල් එකක්.

          ~~~     ~~~     ~~~     ~~~     ~~~

"හශාන්..."

          ඒ සද්දෙට වටවෙලා හිටපු කෙල්ලො කොල්ලො ඔක්කොම ගැස්සුනා. ඒ වෙනකම් හැමෝටම අමතක වෙලා මේසෙ උඩම තිබ්බ කාඩ් පැක් එක මොහොතෙන් අතුරුදහන් උනා. ඒ මොකද හැමෝම හොඳට අඳුරනවා ඒ කටහඬ. විනයභාර රත්නායක සර්. මං හිතන්නෙ සර් ඒක දැක්කා. ඒත් ඒ ගැන තැකීමක් කරේ නෑ. පුදුමයි. වෙනද නම් ඉතිං ආදරේට කම්මුලත් අතගාලයි සර් පැක් එක අරන් යන්නෙ අපෙන්.

"හශාන් මෙහෙ එනව..."

         අපි කාටත් වඩා හශාන් සර් ගැන දන්නවා.  සර්ගෙන් වදින කම්මුල් පාරක් කොච්චර සැරද කියන එක වගේ එහෙම. එච්චරටම හොඳ ගුරුගෝල සබඳතාවක් හශාන්ගෙයි විනයභාර ගුරුතුමාගෙයි තිබ්බා.

          තවත් පරක්කු නොවී හශාන් සර් පස්සෙන් ගියා.

          ~~~     ~~~     ~~~     ~~~     ~~~
     
           එදා දවසම නිදහස්. වාර විභාග ඉවර වෙලා නිවාඩු දෙන්නත් දවසක් දෙකක් වගේ තිබ්බෙ. ඉතිං කට්ටිය ඉස්කෝලෙ එන්නෙ වෙනදටත් වඩා උනන්දුවෙන්. ක්‍රිකට්, ෆුට්බෝල් වගේ ක්‍රීඩා හැකියා දියුණු කරගන්න, තමන්ගෙ අනාගතේ වෙනුවෙන් සහකාරියක් හෝ සහකාරයෙක් හොයාගන්න, දැනටමත් හොයාගෙන නම් ඒ සම්බන්ඳතා තවදුරටත් ශක්තිමත් කරගන්න වගේ වැදගත් දේවල් අස්සෙ ඕමි ගහන්නම ඉස්කෝලෙ ගියපු මම වගේ සෙට් එකකුත් හිටියා. ලැජ්ජාවෙන් උනත් කියන්න ඕනි එකොළහ වසරෙ වෙලත් පහේ හයේ වගේ හැසිරුනු කිරෙන් බාල උන උන් කීප දෙනෙකුත් නොහිටියා නෙවේ.

          හශාන් කියන්නෙ ඒ කාලෙ මගෙ හොඳම යාලුවා. ඒකට මුල්ම හේතුව උනේ කාණ්ඩ විශයන් වලදි අපි දෙන්නම එකම විශයන් තෝරගෙන තිබුණ එක. ඊටත් පස්සෙයි අපට තේරුණේ චරිත දෙකත් ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ ගැළපෙන බව. ඉඳලා හිටලා දවසට එකපාරක් වගේ කාත් එක්ක හරි රණ්ඩුවක් වලියක් දාගත්තට ඌ හිත හොඳ එකා. ඊට අමතරව ප්‍රධානම දේ... ඌ ඉන්නෙ කොතැනද එතන ආතල් සාගරයක්.

          ඉතිං... එදා අපි දෙන්නා කොල්ලොත් එක්ක ඕමියක් බලන්නයි සෙට් වෙලා හිටියෙ. ඒ දවස්වල පිස්සුවක් වගේ ඕමි ගහන එක පැතිරිලා තිබ්බ නිසා පන්තියේ කීප තැනකම් ඕමි ගහන්න සෙට් වෙලා හිටිය කට්ටිය. කොල්ලො කෙල්ලො බේදයක් නැතුවම. අපි හිටපු තැනට ටිකක් එහායින් ගෑනු ළමේක් පාඩුවෙ මොනවදෝ කියවනවා. වැඩි කතාබහක් නැති උනත් හුරුබුහුටි දක්ශ කෙල්ලෙක්. මං ඉතිං නිකමට වචනයක් දැම්මා.

"මොනාද ඔච්චර උනන්දුවෙන් කියවන්නෙ...?"
      
          ඔලුව උස්සලා මා දිහා බලපු එයා කියවමින් හිටපු පොතම උස්සල මට පෙන්නුවේ...

"ධීවරී ගීතය..."

          කියලා. ඒක මොකක් හරි පරණ පොතක්. එයා කියව කියව හිටියෙ ධීවරී ගීතය කියන කවි පන්තිය.

"ආහ්... සාගර පලන්සූරිය... නේද...?"
 
      
          එයා හිනාවෙලා ඔලුව වනලා ආයෙමත් පොත දිහා බලාගත්තා. වෙනද නොදැකපු අමුතුම ලස්සනක් ඒ හිනාවෙ දැක්කෙ ඇයි කියල හිත හිතම මං අශාන් දිහාට හැරිලා...

"උඹ දන්නවද... සාගර පලන්සූරිය ඕක ලියද්දි යශෝධරාවතේ ආකෘතිය බලපාල තියනව කියල..."

          කිව්වෙ එයාටත් ඇහෙන්නමයි. හශානුයි මමයි තමා සිංහල සාහිත්‍යය කාණ්ඩ විශයක් වශයෙන් කරපු එකම කොල්ලො දෙන්නා. ඒත් මට අමතක උනු දේ තමා ඌ තමන්ගෙ සාහිත්‍ය දැනුම වැඩිපුරම භාවිතා කරේ කුණුහරප කියන්න කියන එක.

"යශෝධරාවත...? කෙහෙල්මල...."

          ඌ මහ හයියෙන් කිව්වෙ පන්තියටම ඇහෙන්න. ඌ එහෙම කරේ කස්ටියගෙ අවධානය ගන්න බව අත්දැකීමෙන් මම දන්නවා. ඊළඟට ඉතිං මොකක් හරි කුප්ප කතාවක් තමා.

"උඹල දන්නවද ඇත්තටම ඕකෙ මුල කොහෙද කියලා... නෑනෙ... නෑනේ... ඕක විතරක් නෙවේ බං තවත් කවි පන්තියක් තියනව. මේ දෙකම හදල තියෙන්නෙ පරණ අප්‍රසිද්ධ කවි පන්තියකින් උස්සලා..."
      
          ඒ පාර නම් ඌ ගානට ඔක්කොම ඌ දිහාට හරවගත්තා.

"මේව ඉතිං එහෙම හයියෙන් කියන්න පුලුවන් කතා නෙවේ. සම්පූර්ණ කතාව අහගන්න ඕන්නම් ළඟට වරෙන්..."

           පන්තියේ කටකාරම කෙල්ල දිහා බලලා ඌ ඒ කරේ කෙල්ලො ඔක්කොටම විවෘත ආරාධනයක් කියල තේරුණ ගෑනු ලමයි කීපදෙනෙක්ම, ඒ වෙද්දි අපෙ මේසෙ වටේට එකතුවෙමින් හිටපු කොල්ලොත් එක්ක එකතු උනා. ඒ අතරෙයි මම ආයෙම අර ගෑනු ළමය දිහා බැලුවෙ. මේ වෙන කිසිම දෙයක ගානක් නෑ වගේ ඒ ළමයා පාඩුවෙ පොත කියවනවා. මගෙ හිත ආයෙමත් නිකම් මොකක්දෝ වෙලා ගියා. ම්ම්... බලමුකෝ... ඒ අදහස පස්සට දාල මම ආයෙම හශාන් දිහාට හැරුණෙ මිනිහා කතාව පටන් ගත්ත හින්දා.


"මෙහෙමයි මචං... හරිද... දැං ඔය සාගර පලන්සූරිය ලිව්ව ඔය කවි පන්තිය වගේම, තව තියනවා විමලරත්න කුමාරගම ලියපු 'අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා' කියල කවි පන්තියක්. හරිද. ඒ දෙකම බං ලියල තියෙන්නෙ පරණ කවි පන්තියක් තියනව බං. ඒකෙ තියන සමහර කවි වල තාලෙ ඇරගෙන. ඒ කිව්වෙ ආකෘතිය..."

"ඒත් කොහොමද හරියටම දන්නෙ ඒකෙන් මෙව්ව කොපි කලාද මේවගෙන් ඒක කොපි කළාද කියලා..."

       
          ඒ මේක සිරා කතාවක් කියල හිතන් අහන් ඉන්න මොළේ වැඩි එකෙකුගෙ ප්‍රශ්නයක්... හැබැයි ඒකෙ වැරැද්දකුත් නෑ. මූ බොරුව උනත් ගානට මුල මැද අග ගළපලා කියන මිනිහනේ....

"ඇයි බූරුවෝ... කවිය ලියවුනු අවුරුද්ද බලලනෙ එහෙම කියන්නෙ... මොකෝ මේක මම කියන කතාවක් නෙවේනෙ. ප්‍රසිද්ධ විචාරකයො කියන අදහසක්නෙ..."
          
          හම්මෝ... මූ මේක හෙනම දුර ගෙනියනව කියලා මට තේරුණා. හොඳයි හොඳයි. ඔහොම යන්කෝ කියල මම ආයෙම අර ළමය දිහා බැලුව. මොන... ගානක්වත් නෑ. තමන්ගෙ පාඩුවෙ. හම්මෝ... කවදාවත් නැතුව මොකක් නිසා මෙහෙම වෙනවද මන්දා. ඒ අහින්සක පෙනුම නිකම් හිත මොනාදෝ කරනවා....

"මේකයි මචං ඒත් ඕකෙ සීන් එක. ඔය කතාව වැඩිය ප්‍රසිද්ධ නොවුනෙ එක හේතුවක් නිසා. මොකක්ද දන්නවද. මම දැං ඔය කිව්ව මුල් කවිය තියෙන්නෙ... අන්න ඒක මචං... ඒක පොඩ්ඩක් විතර වැල කවියක් බං.... ඒකයි අවුල..."

          මොකක්... ඒ පාර නම් කට්ටියට තිබ්බටත් වඩා හෙනම උනන්දුවක් ඇති උනා වගේ. ගෑනු ළමයි ටික නිකම් මූණු අවුල් කරගත්තට, අපිටත් වඩා දැං කතාව අහන්න උනන්දු උන්ට කියල අපි දන්නවා. අපි නොදන්න මොණරතැන්න....

"බොරු කියන්න එපා බං... වැල කවි තිබ්බෙ කවද්ද...."

          ආයෙමත් අපෙ මොළේ වැඩි සහෝදරයා මැදට පැන්නා. ඔන්න ඒ පාරනම් අපෙ කතාකරායාට මළ පැන්නා....

"අනේ උඹ දන්න රෙද්ද බං... දැං තෝ ඔය හොරෙන් තියාගෙන කියවන වැල පත්තර තියෙන්නෙ. ඒවා ලස්සන කතන්දර විදියට නේද තියෙන්නෙ. ආ.... ඒ වගේ තමා යකෝ... ශෘංගාරය කියන්නෙ සාහිත්‍යයේම කොටසක්... ඉතිං කවියෙන් ඒක උපද්දවන එක, දක්ශ කවියෙකුට ඒ හැටි දෙයක් නෙවේ. මගුල.... නොදන්න රෙද්දවල්නේ උඹත් කියවන්නේ...."

          පව්... පන්තියම ඉස්සරහ ඌ වැල පත්තර කියවනව කිව්ව එකටත් වඩා කොල්ලට වැදුනෙ හශානයාගෙ බර වචන සෙට් එකේ විස්තරේ... මූ දන්න ශෘංගාරෙ. මගුල තමා.... ඉන්පස්සෙ උගෙ කට වැහුණා...
ඉන්පස්සෙ හශාන් පාඩුවෙ උගෙ කතාව කන්ටිනිව් කරගෙන ගියා, ලස්සනට...

"මෙහෙමයි බං. ඒ කවි පන්තිය ඇවිත් මචංලා අප්‍රසිද්ධ කිවිඳියක් ලිව්ව කියල තමා සැලකෙන්නෙ. හරිද... උත්තම පුරුෂ දෘෂ්ඨිකෝණයෙන් තමා ලියල තියෙන්නෙ. මට ඔක්කොම නම් මතක නෑ බං. එහෙන් මෙහෙන් කවි දෙකක් තුනක් තමා මතක. උඹලට ඕන්නම් මම ඒ කවිත් එක්ක මතක විදියට කතාව කියන්නම්...."

          එහෙම කියල ඌ ඔක්කොම දිහා බලන් හිටියෙ නිකම් අමතක උන දෙයක් අමාරුවෙන් මතක් කරන මූඩ් එකෙන්. දැං මම දන්නවා මූ පිටින් මෙහෙම කතා කරාට ඇතුලෙන් හෙන ගේමක් දිදී මොකක් හරි කවියක් එඩිට් කරනව කියල. කට්ටිය සද්දයක් නැතුව ඉන්න නිසා ඔන්න කොල්ලා ආයෙම කතාව පටන් ගත්තා.

"කවි පන්තියෙ නම නම් මචං අවංකවම මට මතක නෑ. හැබැයි මේකෙ දළ අදහස මචං... කාන්තාවකගෙ ආදරය... හරිද කාන්තාවකගේ ආදරය කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියන එක. විශේෂෙන්ම ශාරීරික සම්බන්ඳතාවයත් එක්ක.... හරිද. දැං කතාව මෙහෙමයි. ඔන්න මචං ඉන්නව ධීවරයෙක්ගෙ බිරිඳක්. හරිද. ඔන්න දවසක් මේ ධීවරය රෑ මාලුබාන්න ගියාම වෙන සිද්දියක් තමා කතන්දරේ තියෙන්නෙ. හරිද... අර ධීවරී ගීතය කියන එක මේකේ අමු කොපියක් කියල උඹලට තේරෙයි මං කියල ඉවර උනාම. හරිද. ඔන්න එහෙනම් මට මතක විදියට මුල්ම කවිය මේ වගේ...."


          වැඩිය තාලයක් අනම් මනං නෑ.... නමුත් කොල්ලා ලස්සනට ගේම ගොඩදාන තරමට වැඩ දාල කවිය කියනවා...

"හිමි ඔබ සයුර මැද රුදු සටනකය රැයේ
 පොල් අතු පැළේ මම තනියම වෙසෙමි බියේ
 අද මම නාන විට මළ හිරු බසින පැයේ
 උපාලියා කෙල හල හල බලන් ගියේ"

          
          මුගෙ අම්මට යකෝ.... මූ අමු අමුවෙ අර කවිය විනාස කරා. දැන්නම් ඔන්න කස්ටියට තේරෙනව මූ මේ අමු කෙබරයක් කියවන්නෙ කියලා. කෙල්ලොන්ගෙ එහෙම මූණු බලාපොරොත්තුවෙන් පිරිලා. මූ මොන වගේ කුප්ප කතාවක් කියයිද ඊළඟට කියලා. හේතුවක් නැතුවම මට ලාවට බැලුණෙ අර ළමයා දිහා. පොත කියවනව වගේ හිටියට ඔයත් අහගෙන නේද හිටියෙ බබා. කටකොනේ තියන හිනාවෙන් මට ඒක තේරෙනවා. හ්ම් හ්ම්... හොඳයි හොඳයි...

                    "දැං උඹලට තේරෙනවනේ. මිනිහ මාලු අල්ලන්න ගියාම ගෑනි තනියම ගෙදර ඉඳන් හිතන දේ තමා මේකෙන් කියන්නෙ. හරිද. නමුත් බං ඊළඟට තමා බං දුක හිතෙන දේ වෙන්නෙ. ගෙවල් කිව්වට ඕව බං පොල් අතු පැල්පත්නෙ, කවියෙම තියන විදියට. ඉතිං බං අර උපාලි කියන එකා බං මහ රෑ බං බලෙන් ගෙදරට පැනලා බං.... මේ අහිංසක ගෑනිව දූෂනේ කරනව බං...."

          කොල්ලා කොච්චර හැඟීම්බරව කියන්න හැදුවත් දැං කට්ටිය බලං ඉන්නෙ ඊළඟට මොකක්ද මූ කියන්නෙ කියලා. කුතුහලේනෙ... ඔන්න ඊට පස්සෙ කොල්ල තවත් ටිකක් ඉස්සරහට නැමිලා ඉස්සරලටත් වඩා හෙමින් තව කවියක් කියන්න ගත්තා...

"නියපොතු වලට ලස්සන හම ඇත සීරී
 මා මය දතුයෙ මගෙ තන ගිය හැටි පෑරී
 උපාලිගෙන් මට නොගියැකි විය බේරී
 මුළු ඇඟ හපාකයි අඟලක් අත නෑරී"

         
           ආච්චිට හාල්ගරන්න මම ආසම කවි පන්තියක ආසම කවියක් මූ අයෙත් විනාස කරා. ඕකෙ ඇත්ත කවියෙ තියෙන්නෙ වැදි කොල්ලෙක් අතින් මැරෙන මුවදෙනක් ගැන. ඒ මඳිවට පැටියෙකුත් ඉන්න.

කටුකම්බියට ලස්සන හම ඇත සීරී
මා මය දතුයෙ මගෙ හද ගිය හැටි පෑරී
වැදි කොලුවගෙන් ඈට නොගියැකි විය බේරී
ඇගෙ මළ බුරුල්ලෙන් වෑහෙයි කිරි බේරී


          අච්චර සංවේදී කවියක් මූ විනාස කරා. සමහරක් කෙල්ලොන්ගෙ නම් මූණු රතුවෙලා. කොල්ලො උනත් හයියෙන් හිනානොවී ඉන්නවා මැදින් ඇඩ් දැම්මොත් කතාව වෙනස් වෙයි කියලා. හැබැයි ඔක්කොම බලං ඉන්නවා කතාවෙ ඉතුරු කොටස දිහා. මං ආයෙත් ඉබේම අර ළමය දිහාට හැරෙනව. පොත දිහා බලාගෙන ආයෙම හිනාවෙනව. එයත් කතාව හොඳට අහගෙන ඉන්නෙ. හිනාවෙනකොට කම්මුල වල ගැහෙනව. ඒ ලස්සන....

          "දැං තේරෙනවනෙ බං උඹලට. අරූ රෑ පැනලා මේ ගෑනු කෙනාව දූෂනේ කරනවා. ඒක හෙනම සංවේදී. ඒත් බං. ඔතන තමා කවි පන්තියේ ටර්නිං පොයින්ට් එක. ඒ කියන්නෙ බං... මට ඔක්කොම කවි මතක නෑ කිව්වනෙ මම... ඒත් කවි පන්තියේ සරල අදහස අනුව බං මේ සිද්දිය අවසාන වෙද්දි බං මේ ගෑනු කෙනා ඒ උපාලි කියන පොරට කැමති වෙනව බං. ඒකෙන් තමා කියන්නෙ ගෑනු කෙනෙක්ගෙ ආදරේ කියනෙක තීරණේ වෙන්නෙ කායික සම්බඳතාවය මත කියල බං...."

          එහෙම කියන ගමන් කුපාඩි බැල්මක් කෙල්ලො ඔක්කොම දිහාට දාන්නත් මිනිහා අමතක කරන්නෑ...

          "ඒ කියන්නෙ මෙච්චර කල් තමන්ගෙ මිනිහගෙන් නොලැබුන තෘප්තියක්, සිංහලෙන්ම කිව්වොත් සැපක්... අරූගෙන් හම්බුනාම ගෑනි වෙනස් වෙනවා. ඉතිං බං දැං ඔහොම කිව්වට උඹලට විශ්වාස නෑනෙ. එහෙනම් අහපන්කො අන්තිම කවිය. එතකොට තේරෙයි..."

"ඉර පායා ඉර මුදුනට එන්න එපා
 හෙට උදයේ හිමි ගෙදරට එන්න එපා
 අනේ දෙවියනේ හෙට එලිවෙන්න එපා
 උපාලි අයියේ මා හැර යන්න එපා"


          ඔන්න ඒකට නම් කට්ටියට සීමාව පැන්න. ඒත්  කාගෙන්වත් හිනාවක් එන්න කලින්...

"හශාන්...."

          ඒ සද්දෙට වටවෙලා හිටපු කෙල්ලො කොල්ලො ඔක්කොම ගැස්සුනා.

          ~~~     ~~~     ~~~     ~~~     ~~~

          විනාඩි පහකවත් ගියෙ නෑ හශාන් ආයෙම එනව විසිල් එකකුත් ගහගෙන. අවුලක් වෙලා නෑ වගේ. හැබැයි මිනිහගෙ බැල්ම නම් මට ඇල්ලුවෙ නෑ....

"මොකෝ බං සීන් එක...."

"$#@& දාල කිහාන්කෝ... පෙරේද මිනිහ මට කනට ගැහුවෙ බං. කොණ්ඩෙ අවුල් කියලා... පොර කියනව ගුරුවරු ළමයින්ට ගහන්නෙ හදන්න ඕනි නිසාලු. නැත්තං කවද හරි විනාස වෙයිලු. ඒ නිසා එහෙම පාරක් දෙකක් ගැහුවට හිතේ තරහ තියාගන්න එපා කිව්වෙ.... මං හා කිව්ව ඉතිං...."


          මොනවා... පුදුමයිනේ.... කවදාවත් නැතුව.... ගහනවා කියල මිසක් උපදෙස් දෙනවා කියල දෙයක් පොරගෙ ලිස්ට් එකේ තිබ්බෙ නෑනෙ මෙච්චර කල්....

"අඩෝ පුදුමයිනෙ බං...."

"ඔව්.... මටත් හිතාගන්න බැරි උනා... මං හිතන්නෙ මිනිහා ඇවිත් ශේප් එකේ මගෙ කතාවෙන් බාගයක් වත් අහන් ඉඳලා තියනවා.... අපටත් ගානක් ගියෙ නෑනෙ කවුරුත් එයි කියලවත්...."

"ඒකෙයි මේකෙයි සම්බන්ඳෙ මොකක්ද බං ඒත්...."


          අපි කාටවත් කතාවෙ අගක් මුලක් නොතේරේ.....

"ඇයි ගොං #*@.... පොරගෙ මුල් නමත් උපාලිනෙ... උපාලි රත්නායක...."
        

No comments:

Post a Comment