Wednesday, May 30, 2018
මන්දාරම්...
සමහරවෙලාවට, දරාගන්න බැරි තරමටම ගුප්තයි ඒ හැඟීම.
හවස් වී ගෙන එන වෙලාවට ඒකට වැහිබර අහසකුත් එකතු උනාම...
තනිවුන කෙනෙකුට වටේ පිටේ හැමදේම අමතකවෙලා ගිහින් තනිකම කියන දේ හොඳටම දැනෙන තවත් අවස්ථාවක් තමයි ඒ.
මුලු වටපිටාව ම අඳුරුයි; දුක්බරයි.
හීන, මතක, ස්පර්ශ, අකුරු, සුසුම්,හැඟීම්...
මේ ඔක්කොම එකට පැටලිලා අතරමං වෙලා වගේ දැනෙන්නත් පුළුවන්.
තනිකමින්, වේදනාවෙන් දෙදරුම්කන හදවත් සිහිවෙලා වගේ අහස ගුගුරාවි....
ඒ හිත්වල දුක දැනිලද මන්දා අහසත් හඬාවි....
ඒත්...
වැහි බින්ඳු එක දෙක වැටෙද්දි, ඒ දිහා අත් අල්ලන් බලං ඉන්න...
පින්න හුළඟෙ දැවටිලා ඇවිත් හිරිගඩු පිපෙන තරම් සීතලක් දැනෙනකොට, උණුසුම්ව තුරුල්වෙන්න...
හීන මවන දහසක් දෙනා තව තවත් තනිකරමින් ම ඒ වැස්ස පොළව සිප ගනීවි....
ඒත්, බලාපොරොත්තුව හැමදාමත් තියේවි...
~~~ ~~~ ~~~
දුක්බර පාලු තනිකම එකිනෙක යාව
මන්ඳාරම් අඳුර පැතිරුණු හැන්දෑව
මතකය සිහිනෙකින් මෙන් නෙතු අග පාව
නුඹ නැහැ ගතින් සිත විතරයි මං ගාව
විදුලිය අකුණු අහසෙහි නෙක හැඩ රන්දා
නුඹෙ රන් කොපුල් සිහි කරවනවද මන්දා
නුඹටත් පාලු ඇති මම ළඟ නැති හින්දා
අපි වෙනුවෙන්ම දෝ අහසත් ඉකි බින්දා
බය හිතෙනවද ගුගුරන විට රළු අහස
ගුලිවෙන විටදි සිහි වෙනවද මගෙ පහස
සීතල සුළඟ කොඳුරයි අඳුරේ රහස
හැඟුමන් මගේ අයදිනවා නුඹෙ පහස
හිරිකඩ පින්න ගත දැවටෙන මුළුල්ලේ
සිඹිමින් කොපුල් නෙතු යාවෙන ඇසිල්ලේ
තුරුළුව නුඹට උණුසුම විඳ නිදැල්ලේ
සැනසෙමු දිනෙක සතුටින් එක කැදැල්ලේ
Subscribe to:
Post Comments (Atom)
වැස්ස එක්ක දැනෙන ගොඩක් හැගීම් ගුප්තයි තමයි ☔
ReplyDeleteඔව්. තේරුම් ගන්න බැරි තරම්...❤️👌
Delete