චෛත්‍යයේ කොත් කැරැල්ල සඳ එළියට දිළිසෙමින් තිබුණි. නිසල වැව් දිය මත ගස්වල සෙවණැලි රටා මවද්දී රංජිත් අපහසුවෙන් වැව් බැම්ම මතින් වූ පාර දිගේ ඉදිරියටම ඇදුණේ ය. ඈතින් පන්සල පෙනෙයි. හාත්පස කිසිම හාවක් හූවක් නැත. ඔහුට සිංදුවක් කීමට සිතුණි.
"ගිරිහෙල් මුදුණේ මානෙල්..."
නැත. එය ගැළපෙන්නේ නැත. අතරමැදට හොඳ කුණුහරපයක් දෙකක් දමා සොමියට ගායනා කිරීමට නම් ජෝතිපාලගේ ආදර ගීතයක් විය යුතුය. බොඳ වූ දෑසින් වට පිට බලමින් ම ඔහු කල්පනා කළේය.
"සඳේ රැස් කැලුම් නෑ එදා මෙන් දිලෙන්නේ....
වැවේ නිල් නෙලුම් නෑ එදා මෙන් පිපෙන්නේ...."
නිසල රාත්‍රියේ ඔහුගේ ගොරහැඬි හඬ ඈතින් ඈතට ඇදී යයි.
රංජිත්ට අනුව නම් ඔහු චණ්ඩියෙකි. ඔහුට කිසිවක් කීමට, බාධා කිරීමට සමත් කිසිවෙකු ගමේ නැත. පොඩ්ඩක් දාගත් දාට හිතේ සතුටට ගීයක් ගායනා කළ යුතුමය.
නමුත් එයට කිසිවක් කීමට ගමේ කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර අහළ පහළ ගෙවල් වල මිනිසුන්ට වෙන බාධාව ඔහු නොතැකීය. උන්ටත් කැමති නම් තම සොමියට එක්විය හැක. පාඩම් කටයුතුවල නිරතවන්නා වූ දරුවන් ගැන හෝ දවසේ මෙහෙවර අවසන නින්දේ සිටින්නාවුන් ගැන ඔහු නොසැළකීය. රංජිත්ගේ දැක්මට අනුව දහවල් කාලයේ පාඩම් වැඩ ඉවර කිරීමට පොඩි උන් දැනගත යුතු ය. වැඩකර මහන්සි නම් තමන් මෙන් හවසට මත්පැන් පොඩ්ඩක් ගැනීමට ගමේ අනෙක් උන්ද හුරුවිය යුතු ය.
වැව් බැම්ම අවසානයේ වූ මහ නුග ගස ආසන්නයට එන විට ඔහුටත් නොදැනීම ඔහුගේ ගායනය නතර විය. වසර සිය ගණනක් පැරණි නුග ගසේ සුවිසල් අතුපතර හෙයින් අවට සම්පූර්ණයෙන්ම අඳුරු වූ අතර දහවලට පවා වූයේ ගුප්ත පෙනුමකි. ඒ හැරත් පහුගිය දිනවල සිය සගයන්ට මුහුණ දීමට සිදු වූ සිදුවීම් ද සුළුකොට තැකිය නොහැකි ය. ඉක්මනින් නුගය පසු කිරීමේ අදහසින් ඔහු සිය පය ඉක්මන් කළේ ය.
~~~~ ~~~~ ~~~~ ~~~~
"යකෝ මම එදා යනගමන් නිකමට වගේ කිව්ව කතාව උඹල සිරා ගනියි කියල මම හීනෙන්වත් හිතුවෙ නෑ. අඩුම සෝමෙයට මහනුගේ ගාවදි යකෙක් ගහල කියල අම්ම කියද්දිවත් මට එහෙම දෙයක් මතක් උනේ නෑ."
බිම දැමූ සිගරට් කොටය කකුලෙන් පාගමින් සිනෙත් පැවසී ය.
"අපිට හිතුණෙත් නෑ බං. මෙන්න මූට තමයි ඕක කරන්නම ඕනි උනේ."
තිලක් පැවසුවේ කණ්ඩායමේ බාලයා වූ සිය සොහොයුරාගෙ උරහිසට තට්ටුවක් දමමිනි.
"ඒ උනාට මේ වැඩේ අවුල් නැද්ද බං. උන් සෙට් වෙලා රැකලා ගේමක් දෙන්න හැදුවොත් එහෙම..."
"පිස්සුද බං. ඒ හින්දම තමා අපි මාසෙට එකෙක්ව අල්ලගන්නෙ. ලොකු හාමුදුරුවොත් වැඩේට කැමති වෙච්ච එකේ... අනික මේ ගමටම ඔයවගේ කාලකණ්නි තුන්දෙනයි ඉන්නෙ. දැං ඒකෙනුත් දෙන්නෙක් රෑට නුගේ යටින් යනව තියා ඒ පැත්තට හැරිල චූ කරන්නෙවත් නැතුව ඇති. රංජියටත් වැඩේ දුන්නාම මින්පස්සෙ නිදහසේ ඉන්න පුලුවන් වෙයි හැමෝටම..."
එවිටම ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි අන්තිම සගයාද පැමිණි හෙයින් තිලක්ගේ සංඥාවෙන් සියල්ලෝම තම කාර්‍යයට සූදානම් වූහ.
"ඔන්න ඔය රෙදි ටිකයි වේවැල් ටිකයි ගනිං මල්ලි. මේ මඟුල ඉවරයක් කරල දාන්න..."
"හ්ම්... වැඩේ ඉවර වෙලා යමන්කො, මං ගාව උඹලට තෑග්ගකුත් තියෙනවා."
පන්සල අසළ ගල්තලාවෙන් පහළට බැසගත් කණ්ඩායම සෙවණැලි ඡායාවන් මෙන් මහනුගය දෙසට ඇදෙන්නට විය.
~~~~ ~~~~ ~~~~ ~~~~
ඉක්මන් ගමනින් මහනුගය අසළට ළං වෙත් ම මඟ ඉහළින් හරහට වැටී ඇති නුග අත්ත මත වූ කළු පැහැති ඡායාව දුටු රංජිත්ගේ කටේ කෙල සිඳී ගියේ ය. වෙරි මතද නැතිව ගියාක් වැනි ය.
"මොකාද යකෝ... අම්මට හු..."
කුණුහරපය කටින් පිටවෙන්නටත් පෙරම පිට හරහට වැදුණු පහර නිසාවෙන් ඔහුගේ හුස්ම හිරවිය. මුළු ඇඟ පුරාම එකවරම ඇතිවන්නා වූ වේදනාවත් සමඟම තමන් යටිගිරියෙන් කෑ ගැසුවද හඬක් පිට නොවන බවත් කකුල් දෙක පණ නැතිව යන බවකුත් ඔහුට දැනුණි. නුග අත්ත මත වූ ඡායාව එක්වරම තමා වෙත කඩා පනිනු ක්ලාන්තව ඇද වැටීමට මොහොතකට පෙර ඔහුගේ මතකයේ සටහන් විය.
අනෙක් මොහොතේ ඔහුට දැණුනේ තමන් වැව් කණ්ඩියෙන් පහළට පෙරළෙමින් සිටින බවයි. ගල්බොරළු වලින් වූ සීරීම් තුවාල ඉක්මවා ඇඟ පුරාම දැඩි වේදනාවක් දැනෙද්දී ඉතා අපහසුවෙන් නැගිටගත් රංජිත් ඒ වන විටත් බාගෙට ගැළවී තිබූ සරම කකුලෙන් පන්නා අතට ගත්තේ ය. ඇළට උඩින් එහා වෙල් නියරට පිනූ හෙයින් යළිත් වරක් බිම පෙරළී ගිය ඔහු නැවතත් නැගිට වෙල් යාය හරහා දුවන්නට විය.
කම්පනයත් කෙටි හුස්මත් නිසා හඬක් පිට නොවුණද වෙල් යාය අවසන වූ නිවසක් ඉදිරිපිට සිහිසුන්ව ඇද වැටෙන තුරුම ඉතිපිසෝ ගාථාව ඔහුටත් නොදැනීම තොල් මැතිරුණි.
"මං කියන්නෙ මේකයි. මිනිස්සු උනාම ආතල් ගන්න එකේ, සැප ගන්න එකේ වැරැද්දක් නෑ බං. ඒකට තමා අපි ජීවත් වෙන්නෙ. ඒත් වටේ මිනිස්සුන්ට වේදනාවක් වෙන එක වැරදියි. ඒ වගේ උන්ට ඔහොම තමා කරන්න ඕනි. අරූ සරම අතේ අරන් දිව්වෙ."
පේපර් පැක් එකෙන් තවත් එකක් පිටට ගනිමින් සිනෙත් පැවසුවේය.
"මුර මඬුවට ආව එක හොඳයි අපි. ඔක්කොම දැං ඇවිස්සිලා ඇති හොඳට. අරූව ගුරුන්නාන්සෙ මමලාගෙ ගෙදරට උස්සන් ගිහින් ඇති."
මුවෙහි වූ දුම් උගුර පිටකළ තිලක් සෙමින් පැවසී ය. දෙවන දුම් උගුරත් ඇද පිට කළ ඔහුට පැහැදිලි වෙනසක් දැනුණි.
"මොකෝ තත්වෙ. හොඳයි නේද...?"
"අම්මෝ... මේක වෙනම ලෙවල් එකක් බං."
"මං කිව්වනෙ.... මේවා සුපිරිම බඩු...."
ජංගම දුරකථනයේ ෆ්ලෑශර් එළියෙන් සිනෙත් සීරුවට තම කාර්‍යය කරගෙන යයි.
"කොච්චර තියෙද බං...?"
කොට බිත්තියෙන් එපිටට අලු කැඩූ තිලක් ඇසුවේය.
"අපි ටික දෙනාට වැඩිත් එක්ක තියනවා බං. හදිස්සියෙ දෙකක් ඇදල දෙන්න ඕනි නෑ. හෙමීට ඇති තරමක් ගසලා පාස් කරපන්...."
අනේ මන්දා.. තව ලියලා තිබුණා නම් හොඳයි.. ඒක අමුතු පන්නයේ විකාර කතාවක්.... සුභ පැතුම්!
ReplyDeleteඔව්, විකාරයි වගේ තමා... හිතට ආව විදියටම ලියලා දැම්මේ...
Deleteස්තූතියි ❤️
අතරමං වුණා වගේ ෆීලින්ග් එකක් ආවෙ නම්. 😞
ReplyDeleteකෙටියෙන් ලිව්ව නිසා, කතාව අපැහැදිලි වෙලා වගේ...😕
Delete