සඳ එළියෙන් නැහැවී ගිය කඳුකර මාවත දිගේ මෝටර් රථය ධාවනය වෙමින් තිබිණි. රියදුරු අසුනේ උන් ජෝ ට මේ පසුකරමින් තිබෙන්නා ඌ පරිසරය ඉතාමත් හුරුපුරුදු බවක් හැඟුණි. එනමුත් මේ ඔහු මෙහි පැමිණි පළමු වතාව ය. ඇතැම්විට ඒ සිතට දැනෙන්නා වූ නිදහස නිසා විය යුතුය. මිතුරන් සිව්දෙනා මේ චාරිකාව සැලසුම් කළේ සරසවියේ අවසන් විභාගයෙන් පසු නිදහසේ විනෝදවීම සඳහා ය."
"උඹල මොකද හිතන්නෙ LBJ ගෙ වැඩ පිළිවෙල ගැන ?"
දිගුකාලීන නිහැඬියාව බිඳිමින් පසුපස අසුනක සිටි ස්මිත් විචාළේ ය.
"ප්ලීස් මචං, උඹ දන්නවනේ ඕක මම අකමැතිම මාතෘකාවක් කියලා. දේශපාලනේ නැතුව වෙන දෙයක් ගැන කතාකරපන්කෝ…"
ස්මිත් සහ වොරන් එකිනෙකා දෙස බලා සිනාසුණහ. දේශපාලකයින් පොදු සමාජයේ යහපත සඳහා ක්‍රියා නොකරන බව හැමදාමත් ජෝගේ අදහස විය. නමුත් ඒ සඳහා තමන් යමක් කළයුතු බව ඇදහූ ඔහු නීති අධ්‍යාපනයට යොමු වූයේද ඒ නිසාවෙනි. මෙතෙක් වේලාවක් ඉදිරිපස අසුනේ නිහඬව සිටි බිලී, ජෝගේ උරහිසට තට්ටුවක් දැම්මේ ය.
"මචං ඉස්සරහින් පොඩ්ඩක් නවත්තපන්, පොඩි බරක් සැහැල්ලු කරගන්න ඕනි මට."
බිලීට තම අවශ්‍යතාවය ඉටු කරගැනීම සඳහා පාරේ අයිනකට කර රථය නතර කළ ජෝ හදිසියේ ඇතිවූ සිතුවිල්ලක් නිසා දුම්වැටි පැකට්ටුවද ගෙන රථයෙන් එළියට බැස්සේ ය. මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුණද සඳ එළිය නිසා හාත්පසම පැහැදිලිව දිස් විය. පහතින් වූ මිටියාවතෙහි චමත්කාරය දෙස මොහොතක් බලා සිටි හෙතෙම දුම්වැටියක් දල්වා ගත්තේ ය.
දුම් උගුරු කිහිපයක් පිටකළ ඔහු ආපසු හැරුණු නමුත් බිලී දක්නට නොවී ය. ඒත් සමඟම දුරින් ඇසුණු කිසියම් ශබ්දයක් නිසා ජෝ තිගැස්සී ගියේ ය. ඉහළින් වූ කඳුගැටය දෙස සිට ගස් සෙළවෙන ආකාරයෙන් ශබ්ද නගමින් කිසිවක් පහළට පැමිණෙනු දුටු ජෝට යම්කිසි අනතුරක සේයාවක් ඉව වැටුණි. ඔහුටත් නොදැනීම දුම්වැටිය අතහැරුණි.
ඔහුට රථයට නැඟීමට ඉඩක් නොතබාම යමෙක් පඳුරු අතරින් මෑත් වූයේ ය. හේ මිනිසෙකු බව දුටු හෙයින් ජෝ තුළ වූ තිගැස්ම පහව ගියද තවත් ළඟට ආ ඔහු දුටු විට තම පපුව සීතල වී යනු ජෝට දැණුනි. ඔහු ඉදිරිපස සිටගෙන සිටියේ ඔහුම ය. කිසිත් වෙනස් කමක් නැත. මේ අමුත්තා සියයට සියයක්ම තමන්ට සමානය.
මේ මිනිසා කවුරුන්ද? තමන්ගේ මිතුරන්ට කුමක්ද සිදු වූයේ? ඇයි ඔවුන් තමන්ගේ සහයට නොපැමිණියේ? ඔහුගේ සිත තුළ ඇතිවූ එම පැනයන්ට පිළිතුරු ලෙස ජෝ දුටුවේ රථය අසල සිහිසුන්ව බිම වැටී සිටි බිලීව ය. එම දසුනින් වික්ශිප්තව රථයට දෙස බැලූ ජෝ දුටුවේ වොරන් සහ ස්මිත්ද ඒ අයුරින්ම රථය තුළ සිහිසුන්ව සිටින බවයි.
"මගෙ යාලුවන්ට මොකද වෙලා තියෙන්නෙ? උඹ මොනාද ඒ අයට කළේ?"
අමුත්තා ග්‍රහණය කරගැනීමට ඉදිරියට පැනීමට සැරසුණද තමාට සෙලවීමටවත් නොහැකි බවක් ජෝට හැඟී ගියේය. මේ සිදුවන්නේ කුමක්ද? එක්වරම සඳ එළිය නැති වී ගොස් හාත්පසම අඳුරු වී ගියේ ය. ඉහළ බැලූ ජෝ දුටුවේ හැඩය හඳුනාගත නොහැකි විශාල යමක් තම හිසට ඉහළින් පා වෙමින් තිබෙන බවයි. ඉන් පිට වූ කහ පැහැති ඝන ආලෝක කදම්බයක් තමා වටා පැතිරෙනු ජෝට පෙණුනි.
"බය වෙන්න එපා ජෝ. මම ඔයාම තමයි. හැබැයි මම ආවෙ අනාගතයෙන්. වෙන දේට ඉඩ දීලා බලාගෙන ඉන්න. මුළු මිනිස් සමාජයේම අනාගතේ රැඳිල තියෙන්නෙ ඔයාගෙ අතේ. ඔයා තමා මිනිස්සුන්ගෙ ගැලවුම්කාරයා වෙන්නෙ. වෙලාව ආවාම ඔයාගෙ වගකීම ඉෂ්ඨ කරන්න. ඔයාට පුලුවන් මිනිස්සුන්ට යහපත් අනාගතයක් හදන්න. "
අවට සියල්ල අපැහැදිලිව බොඳ වී යනු අඩවන් නෙතුපිය අතරින් අවසන් වරට ජෝ දුටුවේ ය. අමුත්තා පැවසූ වචනයක් වචනයක් පාසා සවන් තුළ රැව් පිළිරැව් දෙන්නට විය.
********************* ********************
එදින රාත්‍රියේ පැයක පමණ කාලයක් සිහි සුන් වී සිටි මිතුරන් සිව්දෙනාට ම එයට හේතුවක් සිතා ගැනීමට අපහසු විය. ස්මිත්ගේ අදහස වූයේ තමන් යම්කිසි අමනුෂ්‍ය බලපෑමකට හසු වූ බවයි. චාරිකාවේ ඉතිරි කොටස සිත්සේ විඳගත් ඔවුහු ඒ රාත්‍රිය ගැන නැවත කතා නොකිරීමටත්, එය අමතක කර දැමීමටත් එකඟ වූහ.
වසර කිහිපයකට පසු තම මිතුරා ජෝ, සෙනෙට් සභිකයෙකු වී ඇති බව පුවත් පතින් දුටු ස්මිත්ට එකල ඔහුට දේශපාලනය කෙතරම් අප්‍රිය වීදැයි සිහිවී සිනහ පහළ විය.
මිනිසුන්ගේ ජීවිත වෙනස් වන්නේ කෙතරම් පුදුම සහගත ලෙසද ?
******************** *********************
"හොඳින් අහගන්න. මේ ඉන්නෙ ජෝ. අපේ පෘථිවිය යටත් කරගැනීමේ මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක් තමා ජෝ. මෙයා මෙහෙම ඉන්නකොට මේ වෙනුවට අපි හදපු ක්ලෝන් එක පෘථිවියේ මෙයා විදිහට ජීවත් වෙනවා. අපි සැලසුම් කරපු විදියටම එයා පෘථිවියේ බලවත්ම රාජ්‍යයේ නායකයා කළාට පස්සෙ, අපිට පුළුවන් සැලැස්මේ ඉතුරු ටික ක්‍රියාත්මක කරන්න."
"එතකොට… එතකොට මේ ඉන්නෙ ඇත්තම පෘථිවි ජීවියෙක්ද ?"
"ඔව්, ක්ලෝන් එක හරියාකාරව ක්‍රියාත්මක වීම සඳහා අපිට සිද්ධවෙලා තියෙනව මෙයාව පණ පිටින් තියාගන්න. ඒ නිසා අපි මෙයාගෙ මනස කෘතිම සිමියුලේශන් එකකට ඇතුළු කරලයි තියෙන්නෙ. ඇත්තම කිව්වොත් මෙයාගෙ ශරීරය මෙතන තිබ්බට, මෙයාගෙ මනස හැමදාමත් එයා පෘථිවියේ ගත කරපු අන්තිම දවස තමයි ගතකරන්නෙ. මේ සිමියුලේශන් එකෙන් එළියට එන්න එයාට බෑ."
"ඒත් එහෙම නැවත නැවතත් එකම දවස ගත කරනකොට මේකෙ ප්‍රශ්නයක් එන්න බැරිද ?"
"නෑ…. එකම දවස ගත කළත් දවස අවසානෙ එයාට අපි දීල තියෙනවා මේ විශ්වයෙ ඕනිම කෙනෙකුට ජීවත් වෙන්න ඕනි කරන හේතුවක්. ඒ නිසා එයා මේකෙන් එළියට එන්න උත්සහ කරන්නෙ නෑ."
"ඒ මොකක්ද ඒ ?"
"බලාපොරොත්තුවක්…"
******************** *********************
සඳ එළියෙන් නැහැවී ගිය කඳුකර මාවත දිගේ මෝටර් රථය ධාවනය වෙමින් තිබිණි. රිය පදවමින් සිටි ජෝ ට මේ පසුකරමින් තිබෙන්නා වූ පරිසරය ඉතාමත් හුරුපුරුදු බවක් හැඟුණි. හදිසියේ ඇතිවූ සිතුවිල්ලක් නිසා පාරේ අයිනකට කර රථය නතර කළ ජෝ දුම්වැටි පැකට්ටුවද ගෙන රථයෙන් එළියට බැස්සේ ය.
සඳ එළියෙන් බැබළෙමින් තිබූ චමත්කාරජනක මිටියාවත දෙස මොහොතක් බලා සිටි ඔහු දුම්වැටියක් දල්වා ගත්තේ ය.
දයාබර බ්ලොග් රචකය. පසුගිය වසරක කාලයක් පුරාවට ඔබ පෝස්ටුවක් ලියා නොමැත! ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ 5. පුරාවස්තු (Antiques) ගොනුවේ දක්වා ඇත.බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගය ඇති කිරීමට අප වෙහෙස වෙයි. එයට ඔබගේ නොමසුරු වෙහෙස කැපවීම හා දායකත්වය අවශ්‍යයය. කරුණාකර නැවත ලියන්නට පටන් ගන්න. ඔබගේ ලිපි කියවන්නට පාඨකයින් බලා සිටී. ලිවීම ඇරඹීමට සුදුසුම දිනය පසුවී හමාරය! එබැවින් අදම; මේ මොහොතේම පටන් ගන්න! ස්තූතියි!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි දිරිමත් කිරීමට. දිගටම ලියන්න උත්සහ කරන්නම්...❤️
Deletewow
ReplyDelete❤️❤️❤️
Delete