විදුලි පංකාව මඳ වේගයකින් කැරකෙන නමුදු මුලු ගතම දහඩියෙන් නැහැවී ගොස් තිබේ. සිවිලිමේ ඇති අලංකාර මල් කැටයම් මදෙස බලා සිනාසේ. නැතහොත් මම ඒවා දෙස බලා සිනාසෙමි. ජීවිතය යනු මෙය ද? සැබෑවකි; විඳින්නාට ජීවිතය සුන්දර නවාතැනකි.
මම නැවත ඈ දෙස බලමි. සිත වල්මත් කරවන ඒ බැල්මෙන් යුතුව ම ඇය දිගටම චලනයේ නියුතු වේ. මම ඇයට වශී වී සිටිමි. ඇගේ දිගුනිය මගේ උරහිස්වලට කිඳා බැස ඇති සෙයක් මට දැනුනද එය වේදනාවක් නොවේ. සැබැවින්ම මෙය සුන්දර අත්දැකීමකි. සැබෑම වින්දනයකි.
ඇයටද එය එලෙසම බව ඒ වශීකෘත දෑස් මා හට කියාපායි. ඇය ජීවිතයෙන් බලාපොරොත්තු වූයේ මෙය විය යුතුය. මාගෙන් බලාපොරොත්‍තු වූයේ මෙය විය යුතුය. විඳවීමකින් තොර වූ මේ අසීමිත වින්දනය. සැබවින්ම එය සුන්දරය.
~~~~ ~~~~ ~~~~ ~~~~
ඈ මුණගැසුනු මුල් දිනය දැනුදු මට හොඳින් සිහිපත් කළ හැක. සුදු මිශ්‍ර දම් පැහැති සාරියට ඈ මුව තවත් දීප්තිමත්ව බැබළිණි. සාරියෙන් නොවැසුණු පැහැපත් සිහින් බඳ දෙස නොබලා සිටීමට මා දැඩි උත්සහයක් දැරුවෙමි. ඇයට තිබුණේ මා කවදත් ප්‍රියකළ ආකාරයේ දිගු සිහින් අතැඟිලිය.
ඒ සියල්ලටමත් වඩා මා හට දරාගත නොහැකි වූයේ ඇගේ දෑස්වල කාන්තියයි. ඒ ඇස් මා දෙස අමුතුලෙස බැලූ බව මට හැඟුණි. නැත. මා එය සිතින් මවාගත් දෙයක් විය යුතුය. එදා මට සිතුණේ එලෙසයි. ඒ, මා මෙන් ම ඇයත් අන්සතු බැවිණි.
රැකියාවේ මෙන්ම එදිනෙදා ජීවිතයේ දහසකුත් එකක් ප්‍රශ්නවලින් මිරිකෙමින් සිටි මට ඒ ඇස්වල කාන්තිය ගිමන් නිවන මඳ පවනක් ලෙස දැනුණි. නමුත් ඒ කාන්තියට යටින් කුමක්දෝ තේරුම්ගත නොහැකි අන්දමේ දුක්බර බවක් ඇති බව මට වැටහුණි.
ජීවිතය නම් එයයි. ඇතුලතින් වේදනා සඟවන් මතුපිටින් සිනාසෙන, විඳින බව පෙන්වමින් මුළුමනින් ම විඳවන, හරි අපූරු දෙයක් ජීවිතය.
~~~~ ~~~~ ~~~~ ~~~~
හුස්ම ගන්නා වාරයක් පාසා ඒ පිරුණු ළැම උස් පහත් වන ආකාරය දෙස මම බලා සිටිමි. සැබවින්ම ඈ සුන්දරය. සිපගැනීම නිසාවෙන් ම තද රතු පැහැයට හැරී ඇති දෙතොල් මත මඳ සිනාවක් රැඳී ඇත. ඇය සුන්දර සිහිනයක් දකිනවා විය යුතුය. ඔව්. ඇයත් මාත් පමණක් සිටින සුන්දර සිහිනයක්.
හදිසියේම වරදකාරි හැඟීමකින් සිත පිරී ගිය හෙයින් කොට්ටයක් ගෙන ඒ මත ඇගේ හිස තබා පසෙකින් හිඳගත්තෙමි. ඇයටත් මටත් සැමදා එක්ව සිටිය හැක්කේ සිහිනයේදී ම පමණි. සැබෑ ලොවේ දී....
පසෙකින් තිබූ පැකට්ටුව ගෙන සිගරැට්ටුවක් දල්වා ගතිමි; විසල් දුම් උගුරකින් පපුව පුරවාගත්තෙමි.
~~~~ ~~~~ ~~~~ ~~~~
අන්සතු මලක පෙති විදහල බඹරින්දූ
මම වෙමි තෙත්කළේ නෙතු කඳුලින් බිංදූ
විඳගමි යළි යළිදු සැනසෙමි නුඹ ලන්දූ
හැරයමි කෙලෙස රස ගඟුලක් හද බැන්ඳූ
ලොවකට හොරෙන් සිත් කෙලෙසින් එක්වීදෝ
දිවියෙන් නුඹට වරදක් අඩුවක් වීදෝ
මියැදුණු වසත්කල යළි සිහිපත් වීදෝ
පතිවත පෑළදොර හැරගෙන නික්මීදෝ
කැන්දන් යන්න බැරි මල් මාවත් නොමැතී
සිහිනෙන් පවා සියුමැලි නුඹෙ සුවය පැතී
හැඟුමන් සතපවන ඇසුරක නිමක් නැතී
දෙහදක් පිය නඟයි ලොවකට ඉමක් නැතී
ටසරි යකෝ ඒක ඈ
ReplyDelete💝💝💝💝💝💝👍👍👍
එලහ් ❤️👌
Deleteඅනඟ නිර්මාණයක්.
ReplyDeleteජයවේවා!!!
අනඟි ...
Deleteස්තූතියි ❤️
Deleteටිකයි හොඳයි.
ReplyDelete