Sunday, February 3, 2019

ඡායා


ඇය තිගැස්සී නින්දෙන් පිබිදුණා ය.

ඡායා....ඡායා....ඡායා....”

සුපුරුදු ලෙසටම ඔහු සිහිනෙන් මුමුණමින් සිටියි. ඇය කල්පනා කරන්නට වූවා ය. 

අවුරුද්දකට ආසන්න විවාහ දිවිය හදිසියේම දෙදරවමින් මෑතක සිට ඔහු නිතරම සිහිනෙන් තරුණි‍යකගේ නමක් මිමිණීමට පටන්ගෙන තිබිණි. මේ පිළිබද විමසන සෑම මොහොතකම තමා එවන් තරුණියක් නොදන්නා බව ඔහු පවසයි. කෙසේ නමුත් කඩවසම් ස්වාමිපුරුෂයෙකුගේ බිරිදක් වන තමා තුළද සැකයේ බීජය රෝපණය වන බව ඇයට දැනෙමින් තිබිණි. හදිසි වේදනාවකින් පපුව තෙරපෙන්නාක් මෙන් ඇයට දැණුනි.

ඇත්තටම කවුද මේ ඡායා ?


                                                   ~~~ ~~~~ ~~~~ ~~~~



ඡායා....”

ම්ම්....”

මොකද කතා නැත්තෙ ?”

නිකං....”

ඔහු ඇය දෙස බලා සිටියේ ය. රූපරාජිණියක් නොවුනත් මේ අහිංසක කෙල්ලට ඔහු මහත් ලෙස ඇලුම් කළේ ය. ඇඳසිටි රතු මල් ගවුම හේතුවෙන් ඇය වෙනදාටත් වඩා ලස්සනයැයි ඔහුට සිතිණි.


ඡායා....මට ඔයාට දෙයක් කියන්න තියෙනව.”

ඒ මොකක්ද ?” දෑස් විසල් කරමින් ඇය කෝල ලෙස ඇසුවා ය.

තව සති දෙකකින් මං ගමෙන් යනව. මට රස්සාවක් හම්බ වුණා.”

එතකොට මං ?”

බයවෙන්න එපා. මං මාසෙකට සැරයක්වත් ඔයා බලල යන්න ගමට එනවා. අනික ඔයා පන්ති ආවම අපිට හම්බවෙන්න පුළුවන්නෙ.”

ඒත් අනේ....”

මේක අපි දෙන්නම වෙනුවෙන් යන ගමනක් කෙල්ලෙ.”

ඒ කිව්වෙ ?”

මං ගිහිල්ල රස්සාවෙන් සල්ලි ටිකක් හොයාගෙන ටවුමෙන්ම ඉඩං කෑල්ලක් අරං අපිටම කියල ගේ පොඩ්ඩක් හදනව. එතකොට කවද හරි අපෙ ගෙදරින් මේකට විරුද්ධ වුණොත් මට කෙලින් තීරණයක් ගන්න පුළුවං. ඔයාට තේරුණා ද ?”

අයියේ....”

ඇයි ?”

ඔයා මං ගැන ඒ තරමටම හිතවද ?”

නෑ කෙල්ලෙ. මං හිතන්නෙ අපි දෙන්නම ගැන.”

ඇය ඉමහත් ආදරයෙන් ඔහුට තුරුළු වුණා ය. ඔහු ළග සිටිනතාක් කල් තමාට කිසිදු විපතක් කරදරයක් නොවන බව ඇයට ඉර හඳ මෙන් විශ්වාස ය.

අයියේ....”

හ්ම්....”

කවදාවත් මාව අමතක කරන්නෙ නෑ නේද ?”

පිස්සු කතා කියන්න එපා. මං කොච්චරනං ඔයා ගැන හිතනව ද.... ඔයා නැතුව මට ඉන්න පුළුවන් ද ?”

අනේ.... කවදාවත් මට එහෙම කරන්නනං එපා. ඔයා නැතුව මට ජීවත් වෙලා වැඩක් නෑ. මේ ඇත්තමයි.”

ඔහු ඇය දෙස බැලුවේ ය. ඇගේ දෑස් අහිංසකව ඔහු දෙස බලා සිටියි.

විකාර කතා නවත්ත ගන්නවා.... පිස්සු කෙල්ල.”




                                                       ~~~ ~~~~ ~~~~ ~~~~



ඔහු නිවස සිසාරා බැලුවේ ය. ඇය නිවසින් පිටවී ගිය නිමේෂයේ දී මුළු නිවසම පාලුවට ගොස් තිබිණි. ඔහු තවදුරටත් කල්පනාවේ නිමග්න වූයේ ය. දෙසවනෙහි නැවත නැවතත් දෝංකාර දෙන්නේ ඇගේ අවසන් වදන් පෙළයි.


“ඔයාගෙ බොරු අහ අහ මට තවත් මෙහෙ ඉන්න බෑ සිනෙත්. කවුද ඡායා කියන්නෙ ? කවුද ? රෑ තිස්සෙට මතුරන්න තරම් ඒ ගෑණි තමුන්ගෙ කවුද ? මට බෑ තවත් මේක කරන්න. තමුසෙ එයත් එක්කම ඉන්නවා. මං යනව යන්න....”

ඇය තමාට කෙතරම් ආදරේ දැයි ඔහු දනියි. නොදැනීම ඔහුට දිගු හුස්මක් හෙළිණි. නමුත් ඔහු ඇයට කුමක් නම් පවසන්නද ?



                                                       ~~~ ~~~~ ~~~~ ~~~~



දැන් ඉතින් කාර්යබහුල අයනෙ නේද? ඒකනෙ අපිවත් අමතක වෙලා තියෙන්නෙ....”

මේ ටිකේම වැඩවලට හිරවෙලා කෙල්ලෙ. ඒකයි එන්න බැරි වුණේ.... අනික මං මේ මහන්සිවෙන්නේ වෙන කවුරුත් වෙනුවෙන් නෙවේනෙ. නේද ?”

හ්ම්.... ඒකත් හිතන්න ඕනි දෙයක් දැන්නම් කා වෙනුවෙන්ද මහන්සිවෙන්නෙ කියලා....”

ඡායා.... අද මොකද මේ ඔයාට වෙලා තියෙන්නෙ ? ඇයි නුහුරටම කතා කරන්නෙ ?”

එහෙනං මං කෙලිම්ම අහන්න ද ?”

මොනාද ? ඕනි දෙයක් අහන්න. ඇයි අද මේ අවුලෙන් ?”

කවුද ඔයා අර බයික් එකේ තියන් යන කෙල්ල ?”

කෙල්ල ? බයික් එකේ තියන් යන ?”

ඇයි නෑ කියලද කියන්නෙ ? ගිය සතියෙ මං හොදටම දැක්කනෙ ඔයාව මාකට් එක ගාවදි. ඒ කෙල්ලත් එක්ක යනව. ඔෆිස් එකේ වැඩ කිය කිය මාව හම්බෙන්න එන්නත් බෑ කියල කෙල්ලොත් එක්ක රවුම් ගහනවා.... ඒවද ඔෆිස් එකේ වැඩ ?”

ඔහු තනිවම සිනාසුනේ ය.

හයියෝ.... මේකද මේ ප්‍රශ්නෙ ? ඒ අපෙ ඔෆිස් එකේ ගෑණු ළමයෙක්.
ඔෆිස් එකේ වැඩ වගේකට මට දෙතුන් පාරක් එයත් එක්ක එහෙ මෙහෙ යන්න සිද්ධ වුණා.... එච්චරයි....”

එච්චරම ද ?”

ඇය අවිශ්වාසයෙන් යුතුව ඇසුවා ය.

ඇයි සැකද ? මං මෙච්චර අපි වෙනුවෙන් මහන්සි වෙද්දී ඔයාට මාව සැකයි.... මොනා කරන්න ද?”

ඔහු කලකිරීමට පත් හඩකින් කීවේ ය.

හරි හරි.... අපි දැන් ඒක අමතක කරමු. මං ආයෙ ඔය ගැන අහන්නෑ අයියෙ.... හරිද....”

හ්ම්....”

ඡායා.... ඇය මොනතරම් නම්  අහිංසක ද? ඔහු තනිවම කල්පනා කළේ ය.




                                                       ~~~ ~~~~ ~~~~ ~~~~



“අයම් සොරි පුතා. මටත් කරන්න දෙයක් නෑ. දන්න‍වනෙ එයාගෙ හැ‍ටි. පුතත් එක්ක කතා කරන්න බෑ කියන්නෙ. අනේ මන්ද මේ ළමයත් මොනා කරනවද මන්ද...................”

ඔහු අරමුණක් නොමැතිව බලා සිටියේ ය. ඇය ඔහු හා කතා කිරීම ප්‍රතික්ෂේප කරයි. ඒ හැරත්, ඇයට තමන් කුමක් පවසන්න ද ? තමා දැඩි ලෙස අසරණ වී ඇති බවක් ඔහුට හැගිණි.


"පුතා මං දන්නවා පුතා ගැන. ඒ නිසානෙ මං ඔයදෙන්නගෙ සම්බන්ධෙට කැමති උනේ. ඒත් මොකක්ද මේ දැං ඇතිකරගෙන තියෙන ප්‍රශ්නෙ ? කවුද ඇත්තටම ඡායා කියන්නෙ ? ඒ ගර්ල් එක්ක පුතාගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද ?"




                                                       ~~~ ~~~~ ~~~~ ~~~~




ඔහු බලා සිටියේය

"මොනාද කල්පනා කරන්නෙ අනේ.... මොනා හරි කියන්නකෝ...."

"හ්ම්...."

ඔහු ඇය දෙස බලා සිටියේ ය. ඇඳසිටි කහ පැහැති බ්ලවුසය හේතුවෙන් ඇයගේ වත තවත් දීප්තිමත්ව බබළමින් තිබිණි. රතුකරන ලද තොල්වලට ඉහළින් තිබූ දෙනෙතේ ඇති දඟකාර බවත් නිරන්තරයෙන් අසළින් හැමූ සුවඳත් නිසා මැයනම් මිහිපිට සුරඟනක්ම බව ඔහුට සිතුණේ වරක් දෙවරක් නොවේ. මේ අපූරු රූපය හමුවේ තමා ආදරය කළ අහිංසක රුව ඉබේටම ‍සිතෙන් බොඳවී මැකී යන බව ඔහුට වැටහුණි. සියුම් වේදනාවකින් සිත රිදුම් දුන්නද නැවත හැරීමට ඔහුගේ සිත ඔහුට අවකාශයක් නොදෙන බව ඔහුට පසක් විය. අනෙක් අතට ආපසු හැරීමට ඔහුට උවමනාවක්ද නොතිබිණි. මේ ලස්සන රූපය තමා සතු වේ නම් වෙනත් දෑ කුමට ද? ඔහු දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තේ ය.



                                                       ~~~ ~~~~ ~~~~ ~~~~


අම්මේ.... මේ  ප්‍රශ්නේ දැන් මට ඇති වෙලා. දිනූ ‍එයාලගෙ මහ ගෙදර ගියා. ආපහු එන්න තියා ඡායා කියන්නෙ කවුද කියල කියනකන් මාත් එක්ක කතා කරන්නත් බෑ කියනවා. මං මොකද කරන්නෙ අම්මේ.... මං මොනාද එයාට කියන්නෙ ? මට තේරෙන්නෙ නෑ. මං මොකද කරන්නෙ ?”

පුතා.... අපි ඉක්මනටම එනව. ඊට පස්සෙ අපි දිනූත් එක්ක කතා කරල මේක විසඳගමු.”

ඒත් අම්මේ....”

ඇති, ඔයා ඉවසන්නකෝ.... අපි හෙටම එනවා. එතකන් මගෙ පුතා බය නැතිව ඉන්න...”

දුරකථනය පසෙක තැබූ ඔහු රථය මාර්ගයට ගත්තේ ය. කල්පනාවේ යෙදෙමින්ම ධාවනයේ යෙදුණු ඔහුගේ නෙත එක්වරම ඉදිරි පසින් පැමිණි නිල් පැහැති ලොරි රථයේ ගැටිණි.

ඡායා....”

ඔහුගේ මනසේ අකුණක් ගැසුවේ ය. ඒ රිදී විදුලි එළිය තුලින් මෙතෙක් අගක් මුගක් නොමැතිව තිබූ කතාවෙහි සියලුම සිද්ධි බොඳ වූ චිත්‍රපටයක් මෙන් ඔහුගේ සිතේ හොල්මන් කළේ ය.

මාර්ගයෙන් පිට පැන්න රථය අධික වේගයෙන් අසල වූ ගසක ගැටී නතර විය.


                                                       ~~~ ~~~~ ~~~~ ~~~~


ඔහු වික්ෂිප්ත විය.

තමාට තුරුළු වී සිටිනා යුවතිය වෙත ඉබේම ඇදුණු ඔහුගේ නෙත නැවතත් පාරෙන් එපිට සිට තමා දෙස බලා සිටි රුව දෙසට යොමු විය.

ඡායා....

ඇය අනෙක් පසට හැරී දිවයන බව ඔහුට පෙණිනි. ඇය හඬමින් සිටි බව ඔහුට විශ්වාස ය. තමාට තුරුළු වී සිටි තැනැත්තියද පසෙකට තල්ලු කර දැමූ ඔහු ඇය පසු පස යාමට මාර්ගය හරහා පැන්නේ ය. කන අසලින්ම ඇසුණු වාහන නළා හඩත් සමග පසෙක බැලූ ඔහු දුටුවේ තමා දෙසට වේගයෙන් පැමිණෙන නිල් පැහැති ලොරි රථයකි.

මොහොතක් ගතවිය. ඔහුට කිසිත් නොදැණුනි.

දෙපසින් පැමිණි යුවතියන් දෙදෙනෙකු තම ලේ වැකුණු සිරුර වැළද ගනිමින් හඬා වැටෙන ආකාරය ඉහළ සිට දුටු ඔහු තව තවත් ඉහළටම ඇදී ගියේ ය. හාත්පසම අන්ධකාර විය.



                                                       ~~~ ~~~~ ~~~~ ~~~~


ඔන්න ඕකයි දූ උණේ.... පුතා පොඩි කාලේ මේ දේවල් කියනකොට අපිත් කලබල උනා. ඒත් එයාට තේරෙන වයසට එනකොට ඒ හැමදේම අමතක වෙලා ගියා."

නමුත් එයාගෙ ඒ මතකය ආපහු අවධිවෙයි කියල අපි කවදාවත්ම හිතුවෙ නෑ....”

“ඩොක්ට කිව්වනෙ හෙට වෙද්දි ඩිස්චාජ් කරන්න පුලුවන් වෙයි කියලා. කොහොමත් තව ටික දවසකින් මගෙ පුතාට සම්පූර්ණයෙන්ම සනීප වෙයි. දැන්වත් ඉතින් ආපහු ගෙදර එන්න. ඇවිත් එයාට මේ ජීවිතේවත් සතුටින් ගතකරන්න උදව් කරන්න.”

රෝහලින් පිටවන විට අමුතුම හැගීමකින් තම සිත තෙරපෙන්නාක් මෙන් ඇයට දැණුනි. එය සතුටක්ද දුකක්ද යන්න ඇයටම තේරුම් ගත හැකි නොවිණි.
                                                             
                            


1 comment: