මං බස් එකෙන් බැහැලා ස්ටෑන්ඩ් එක මැද්දෙන් ඇවිදගෙන ගියා. පිටේ එල්ලෙන බෑග් එකටත් වඩා ගොඩක් ලොකු බරකින් හිත පිරිලා තිබුණෙ. වටපිට බලන්නවත් උවමනාවක් නැතුව මං ඔහේ ඇවිදගෙන ගියා. ඒත් එකපාරටම ඇස්වලට පෙණුන හුරුපුරුදු රූපෙත් එක්ක මං එකතැන නැවතුණා.
කොහොම මඟ ඇරෙන්නද. ජීවිතේ තේරුමක් නැතුව ඔහේ ගලාගෙන යද්දි, හිතුවෙවත් නැති විදියට, හිතුවෙවත් නැති වෙලාවක මගෙ ළඟින් නැවතුන කෙනාගෙ රූපෙ.
මගෙ හදවතට දැනුණ එකම කෙනා. මට ආදරෙ කරපු එකම කෙනා. කවමදාවත් හිතින් අමතක කරන්න බැරි, කවමදාකවත් අමතක වෙන්නෙත් නැති, ඒත් කවමදාකවත් මගේ වෙන්නෙත් නැති ඒ ඇස් මගෙ ඉස්සරහ තිබුණා.
~~~~ ~~~~ ~~~~ ~~~~
එදා අප්‍රේල් නිවාඩු දුන්න දවසක්. මගෙ පාසල් ජීවිතේ අවසානම කාලෙ.
වචනෙන් නොකිව්වට ඒ වෙනකොටත් අපි අපේ වෙලා. සති දෙකක අප්‍රේල් නිවාඩුව ඉවර වෙනකම් ආයෙ දකින්නවත් හම්බවෙන්නෙ නෑ. හිනාවෙවී කතා කළාට ඒ දුක හිත ඇතුළෙ තිබුණා. අපි දෙන්නගෙම.
මෙතෙක් වෙලා අල්ලන් හිටිය මගෙ අත අකමැත්තෙන් වගේ අතෑරලා එයා නැඟිට්ටා. එයාගෙ ගේ ළඟටම බස් එක ඇවිත් ඒ වෙද්දි. ඒ අහිංසක ඇස්වලින් හරි කෙලින් මා දිහා ආයෙමත් බලලා, බස් එකේ දොර ගාවට ගියා.
මං බස් එකේ වීදුරුවෙන් ආයෙමත් එයා දිහා බැලුවා. බස් එක අද්දන්න පටන් අරන්. අපෙ ඇස් එකට ගැටෙන ඒ අන්තිම මොහොතෙ, ඇස් වහලා හරි ලස්සනට එයා හිනා උනා.
ඇත්තමයි, ඒක හැමදාමත් මතක හිටින හිනාවක්.
කවමදාවත් අමතක කරන්න බැරි, කවමදාකවත් අමතක වෙන්නෙත් නැති ලස්සනම ලස්සන හිනාවක් ඒක.
~~~~ ~~~~ ~~~~ ~~~~
මං බස් එකට නැංගෙ හීනෙන් වගේ. හිතාගන්න බැරිතරමටම ඔලුව විකාර වෙලා. ඉඳගත්තා නෙවෙයි මං සීට් එකක් උඩට ඇදගෙන වැටුණා. බස් එකේ වීදුරු කවුළුවෙන් මට ඈතින් ඇතුගල උඩ බුදු පිළිමෙ පෙණුනා. ඇතුගලට උදේ ඉර එළිය වැටිලා හරි ලස්සනට.
මං දන්නවා. අපිට වෙන්වෙන්න සිද්ධ උනා. අපි දෙන්නගෙම අකමැත්තෙන් උනත් අපිට වෙන්වෙන්න සිද්ධ උනා. ඒත් කාලෙකට පස්සෙ අහම්බෙන් හරි මුණගැහුනම, එකම එක හිනාවක්, එකම එක හිනාවක්වත්....
මට විශ්වාස කරන්නත් බෑ. එදා ඒ හිනාඋන ඇස්මද අද මාව මඟඇරලා ගියෙ කියලා.
~~~~ ~~~~ ~~~~ ~~~~
හුඟාක් ඉස්සර
අපි මුණගැහුණු දවසක
ඇස් වහලා ලස්සනට
ඔයා හිනාවුණා මට
මතකයි අදත්
එදා වගේම
ඒ හිනාව තවමත්
එහෙමම ඇති නේද
කවද හරි දවසක
ආයෙම මුණගැහුණොත්
ඔයාව මට
එකම එක පාරක්
ආයෙමත් ඒ විදිහට
හිනාවෙනවද මාත් එක්ක
අන්තිම වතාවට
අපි මුණගැහුණු දවසක
ඇස් වහලා ලස්සනට
ඔයා හිනාවුණා මට
මතකයි අදත්
එදා වගේම
ඒ හිනාව තවමත්
එහෙමම ඇති නේද
කවද හරි දවසක
ආයෙම මුණගැහුණොත්
ඔයාව මට
එකම එක පාරක්
ආයෙමත් ඒ විදිහට
හිනාවෙනවද මාත් එක්ක
අන්තිම වතාවට
ආදරේ අමතක කරන්න බැරි මතක එක්ක පපුව හිර කරනවා... ලස්සනයි ලියමන
ReplyDeleteඔව්. මතකයන් කවදාවත් අමතක වෙන්නෑ. අමතක කරන්නත් බෑ.
Deleteස්තූතියි. ❤️
අපි හැමගේම සිත් තුල වැළලුණු කතාවක්. දුකම කොයි තරම් සතුටක් දො කියන එක මොන තරම් ඇත්තක්ද? සුන්දර ලියමනක් ! ( මා ලියමනක් යන්න යොදන්නේ වියමනක් හා ගැලපෙන්න. නූල් එක්වීමෙන් වියමනක් සෑදෙන සේම වදන් එක් වීමෙන් සෑදෙන්නේ ලියමනක් ය!)
ReplyDeleteඔව්. මතකයන් පිරුණු අමතක නොවෙන කතාවක් හැමෝටම තියනවා. ඇත්තටම මතකයන් කියන්නෙ දුක සතුට දෙකම.
Deleteස්තූතියි ❤️
සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ..
ReplyDeleteඑක් වූ කිසි කෙනෙකුන් සැබෑ පෙම්වතුන් නොවේ..
ඔන්න ඕකයි ලූශන් බුලත්සින්හලට අනුව ලෝකේ ලව් වල ඇත්ත..
එක එක්කෙනා එකඑක නිර්වචන දෙනවා ඉතිං. ඒත් ස්ථිර එකක් කියන්න අමාරුයි මම නම් හිතන්නෙ. එක්වීම්, වෙන්වීම්... ඒක තමා ඉතිං ජීවිතේ...❤️
Deleteආ... ක්‍රේසි මල්ලි. ආපහු ලියන්න ගත්තද අලුත් නමකින්
ReplyDeleteආපහු ලියන්න ගත්ත එක නම් හරි. නම නම් අලුත් නෑ පරණයි ඉතිං. 😂
Deleteලස්සනයි ආර්යන්.
ReplyDeleteස්තූතියි කලණ ❤️
Deleteඅවුරුදු ගාණකට පස්සෙත් හැරි හැරි බැලෙන තරං වටින වැදගත් දේවල් එච්චර ලේසියෙන් අත ඇරල දාපු එක අපෙත් වැරැද්ද සුද්දො!
ReplyDeleteලේසියෙන් අතහැරපු දේවල් නම් හිත හදාගන්න තිබුණා. පුලුවන් උපරිමෙන්ම උත්සහ කරලා ඒත් අතහැරුණු දේවල් එහෙම ලේසියෙන් අමතක වෙන්නෑ...😔
Delete